උපකාරක පන්ති

දිනකට වැඩිම සිසුන්, ගුරු භවතුන් සංඛ්‍යාවක් අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන අපේ වෙබ් අඩවිය තුලින් ඔබේ ප්‍රදේශයේ හොඳම උපකාරක පන්ති, ගුරුවරු සොයාගන්න අපි උදව් කරන්නම්. උපකාරක පන්ති පවත්වන ආයතන, කණ්ඩායම් පන්ති, නිවසට පැමිණ ඉගැන්වීම්, online පන්ති සියල්ල පිළිබඳව තොරතුරු අපි ඔබට ලබා දෙනවා.

Thursday, May 18, 2023

අධ්‍යාපන සැලසුම්කරණය සහ කළමනාකරණය

 අධ්‍යාපන සැලසුම්කරණය සහ කළමනාකරණය

අධ්‍යාපන පද්ධතිය වඩාත් ඵලදායි හා කාර්යක්ෂමව පවත්වාගැනීමේ අරමුණින් අධ්‍යාපන සැලසුම් සකස් කිරීම සහ කළමනාකරණය සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය මූලික වශයෙන් විමධ්‍යගත කර ඇත. එය රේඛීය අමාත්‍යාංශය, පළාත් අමාත්‍යාංශය, පළාත් හා කලාප කාර්යාලය, කොට්ඨාශ කාර්යාලය ලෙස අධ්‍යාපන පරිපාලන තල පහකින් යුක්ත වේ. මෙම ධුරාවලියේ පියවර අනුව කාර්යයන් සිදු කිරීමට වැඩි කාලයක් ගත වන අතර වගකීම සහ වගවීම අතර අන්තර් සම්බන්ධතාවයන් වල ක්‍රමවත් බවක් නැත. අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර බලතල හා කාර්යයන් පිළිබඳව ඇති අපහැදිලි බව ප්‍රධාන ගැටලුවකි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම හා පළාත් ආණ්ඩු අතර අවබෝධය සහ සමීප සහයෝගීතාව දුර්වල මට්ටමක පවතී. දේශපාලන අධිකාරිය මත පිහිටා අධ්‍යාපනයේ තීන්දු තීරණ ගැනීම ප්‍රබල ගැටළුවකි. එම නිසා අධ්‍යාපන පද්ධතිය තුළ විවිධ අර්බුද ඇති වී ඇත. මේ නිසා අධ්‍යාපන සැලසුම්කරණය සහ කළමනාකරණය තුල විවිධ ගැටලු පැන නැගී තිබේ.

අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍යයන්ගේ යහපත උදෙසා කාර්යක්ෂමව සහ ඵලදායීව පවත්වාගෙන යාමට නම් අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය අතර ප්‍රබල සම්බන්ධීකරණයක් තිබිය යුතුය. නමුත් දිගු කාලයක සිට මෙම ආයතන අතර දුර්වල සම්බන්ධීකරණයක් පැවතීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ ගැටලු ඇති වී ඇත. සමායෝජන ආයතනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නායකත්වය, සම්බන්ධීකරණය හා අධීක්ෂණ භූමිකාව අත් කර ගත යුතුය. නමුත් පවත්නා සම්බන්ධීකරණ අඩුලුහුඩුකම් හේතුවෙන් විෂයමාලා පිරිවිතර සහ පෙළපොත් අතර මෙන්ම විෂයමාලා පිරිවිතර සහ ප්‍රසිද්ධ විභාග අතර ද සැලකිය යුතු නොගැලපීමක් පවතී.

තවද අපගේ අධ්‍යාපන ආයතන තුළ සමස්ත සේවා පද්ධතියම රඳා පවතින ප්‍රධාන ලේඛනය වන්නේ අධ්‍යාපන ආයතනයේ සංවර්ධන උපායමාර්ග හා උපක්‍රම පැහැදිලිව අර්ථ දැක්වූ පාසැල් සංවර්ධන වැඩසටහනයි. එය ආයතනයේ අනාගත සැලැස්මයි  අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීමට මෙම ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වේ. නමුත් නිවැරදි හා දක්ෂ කළමනාකරණයක් නොමැති වීම නිසා මෙම ක්‍රියාවලිය තුළ විවිධ ගැටලු පැන නැගී ඇත. නිවැරදි තීන්දු තීරණ සුදුසු අවස්ථාවලදී නොගැනීම, අධීක්ෂණය ක්‍රමවත් නොවීම, දුර්වල සන්නිවේදනයක් පැවතීම, කාර්ය සාධනය ඇගයීමක් නොමැති වීම සහ යාවත්කාලීන නොවීම මේ අතර ප්‍රධාන වේ. 

අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය සඳහා අධ්‍යාපන සැලසුම්කරණය සිදුකිරීමේදී අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (EMIS) බහුකාර්ය උපකරණයක් ලෙස ඉතා වැදගත් වේ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් අධ්‍යාපන ආයතනවල තාක්ෂණය භාවිතය කිරීමේ ප්‍රවනතාවය අඩුය. තොරතුරු තාක්ෂණ සන්නිවේදනය පිළිබඳ පුහුණුව ලැබූ නිලධාරීන් අඩුවීම නිසා අත්‍යවශ්‍ය ලිපි කටයුතු ප්‍රමාදවීම් වැඩිය. කඩිනමින් දත්ත සංසන්දනය කර ඉදිරිපත් කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් නොමැතිවීම ද ගැටලුවකි. තවද පාසල් සංගනන පැවැත්වීම සහ දත්ත රැස්කර ගැනීම සිදු වුවද සංගණන දත්ත අවසන් කිරීමේ දී ප්‍රමාද වීම සුලබ ය. එම නිසා දත්ත කලට වේලාවට ලබා ගැනීමට අපහසුය.

යෝජනා

● අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියක් (EMIS) පවත්වා ගැනීම සහ යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය වේ. එනම් සියලුම පාර්ශවයන්ට ප්‍රවේශ වී ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැකි පරිපූර්ණ දත්ත ගබඩාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කළ යුතුය. ඒ සඳහා IT විශේෂඥයන් පත් කිරීම සිදු කළ හැකිය. තොරතුරු හා සන්නිවේදන ආධාරක අධ්‍යාපන පරිපාලනය පිළිබඳ සියලුම නිලධාරීන් පුහුණු කිරීම වැදගත්ය. තවද තොරතුරු සන්නිවේදනය සහ තාක්ෂණය භාවිතය පිළිබඳව ගුරුවරුන්ගේ සහ වෙනත් අධ්‍යාපන නිලධාරීන්ගේ හැකියාව වර්ධනය කිරීම වැදගත්ය.

● අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන ආයතනය අතර සන්නිවේදනය සහ සමායෝජනය ශක්තිමත් කිරීම පිණිස ඉහළ මට්ටමේ කාර්ය සාධන සමාලෝචන හා සමායෝජනය කමිටු පිහිටවිය යුතුය. 

● රේඛීය අමාත්‍යාංශය, පළාත් අමාත්‍යාංශය, පළාත් හා කලාප කාර්යාලය, කොට්ඨාශ කාර්යාලය අතර මනා සන්නිවේදනයක් පවත්වාගත යුතුය. 

●   දේශපාලන බලපෑම් අවම කර ගැනීම සඳහා සෘජු අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම සුදුසු වේ.

● ක්‍රමවත් කාර්ය සාධන ඇගයීම් ක්‍රියාවලියක් සහ  අධීක්ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම යෝග්‍ය වේ.


No comments:

Post a Comment

Important